ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මාවතකට ගෙන ඒම සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ‘2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ හඳුන්වා දී තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කරන පරිදි, මෙම වැඩපිළිවෙළ තනි ආයතනයකට පමණක් සීමා නොවූ, රටේ අනාගතය තීරණය කරන ජාතික මෙහෙයුමකි.
සැලැස්මේ ප්‍රධාන ඉලක්කය වන්නේ 2030 වසර වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 36ක අපනයන ආදායමක් (භාණ්ඩ අපනයනයෙන් බිලියන 28ක් සහ සේවා අපනයනයෙන් බිලියන 8ක්) සපුරා ගැනීමයි.
රටේ භූගෝලීය පිහිටීම සහ ගෝලීය ඉල්ලුම සැලකිල්ලට ගනිමින් වාහන අංගෝපාංග සහ එකලස් කිරීමේ අංශය, ඛනිජ පාදක කර්මාන්ත, සැකසූ ආහාර සහ පාන වර්ග, කුළුබඩු සහ බීම වර්ග, රබර් පාදක නිෂ්පාදන, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා මෙන්ම සමුද්‍රීය කර්මාන්ත සහ නැව්/බෝට්ටු තැනීම යන ප්‍රමුඛ ක්ෂේත්‍ර 8 සඳහා රජය විසින් උපරිම ප්‍රමුඛතාව ලබා දෙයි.
මෙම සැලැස්ම ලේඛනවලට පමණක් සීමා නොකිරීමට විශේෂ පියවර ගෙන ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ‘අපනයන සංවර්ධන අමාත්‍ය සභාව’ හරහා සෑම මාස තුනකට වරක්ම මෙහි ප්‍රගතිය දැඩි සමාලෝචනයට ලක් කෙරේ. අමාත්‍යාංශ සහ රජයේ ආයතන 103ක් මෙම වගකීම බෙදා ගනිමින් ඒකාබද්ධව කටයුතු කරයි.
අපනයනකරුවන් දිරිගැන්වීම සඳහා රජය විසින් පිරිවැය අඩු කිරීමට පුනර්ජනනීය බලශක්ති බැටරි පැකේජ හඳුන්වා දීම, ප්‍රාදේශීය වෙළෙඳ කලාප පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළම ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කිරීම සහ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම වසරකට අවම වශයෙන් නව අපනයනකරුවන් 10 දෙනෙකු බිහි කිරීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. එසේම, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන සඳහා මූල්‍ය අනුග්‍රහය සහ සහනදායී ණය පහසුකම් හඳුන්වා දීමට ද කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ චීනය, තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල පවතින ‘සෑම නිෂ්පාදනයක්ම අපනයනය සඳහාම යොමු කිරීමේ’ මානසිකත්වය ලාංකේය ජනතාව තුළද වර්ධනය කිරීමයි.
















