‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය මගින් ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා රට පුරා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සාර්ථක කර ගැනීමට මහජනතාවගේ සක්‍රීය සහයෝගය අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ උපදෙස් පරිදි මෙම විශේෂ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.
ප්‍රජා සහභාගීත්වය, පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කිරීම, රාජ්‍ය හා පෞද්ගලික පරිශ්‍ර පිරිසිදු කිරීම සහ ඒවා අඛණ්ඩව නඩත්තු කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කෙරේ.
පෙර පාසල්, පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි ස්වේච්ඡා සමිතිවල සහභාගීත්වයෙන් ශ්‍රමදාන සංවිධානය කෙරේ.
මාර්ග දෙපස පිරිසිදු කිරීම, ජලය රැස්වන අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරීම, වැව්, ඇළ දොළ හා මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීම මෙන්ම ඉදිකිරීම් පරිශ්‍රවල මදුරුවන් බෝවීම වැළැක්වීමට පියවර ගැනේ.
නිවාස සහ ගෙවතුවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන (ටයර්, පොල්කටු, බඳුන්, වැහිපිළි, ශීතකරණයේ වතුර තැටි ආදිය) ඉවත් කිරීම සඳහා සතියකට වරක් විනාඩි 30ක් වෙන් කරන ලෙස පදිංචිකරුවන් දැනුවත් කෙරේ.
රෝගීන් වාර්තා වන අධි-අවදානම් කලාපවලට ප්‍රමුඛත්වය දෙමින් පළාත් පාලන ආයතන, පොලිස් ස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ප්‍රජා සංවර්ධන සභා විසින් මාසිකව ක්‍රියාත්මක කළ යුතු පොදු ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස මෙම වැඩසටහන සලකා කටයුතු කරන ලෙසත්, එහි ප්‍රගතිය තහවුරු කිරීමට ඡායාරූප [email protected] වෙත යොමු කරන ලෙසත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
















