ඉදිරි වසර තුළ දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පොදු පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මොස්වර්ල්ඩ් මාටිනස් පදනම එක්ව පෙර පාසල් ගුරුවරුන් 500ක් සඳහා ඩිප්ලෝමා සහතික ලබාදීමේ වැඩසටහනකට අදාළ ගිවිසුම්ගත වීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ලංකාවේ පෙර පාසල් විෂය තවමත් පවතින්නේ අවිධිමත් මට්ටමක බවත්, එය නිසි රාජ්‍ය සේවාවක් ලෙස ස්ථාපිත වී නොමැති බවත්ය. පෙර පාසල් සඳහා බඳවා ගැනීමේ නිසි පටිපාටියක් හෝ නියාමනයක් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය මුදල් යෙදවීමේදී ගැටලු මතුවන බව ඇය පැවසුවාය.
මෙම නව ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය හරහා බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු:
2027 වන විට සියලුම පෙර පාසල් නියාමනයට ලක් කරමින් රටටම වලංගු වන ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ ගුරුවරුන්ගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම.
ගුරුවරුන් නිරන්තරයෙන් නව දැනුමෙන් යාවත්කාලීන කිරීම සහ පෙර පාසල්වල භෞතික පරිසරය ප්‍රමිතියකට අනුව පවත්වා ගැනීම.
තරගකාරී ඉගැන්වීම් ක්‍රමවලින් මිදී දරුවන් තුළ මානව දයාව වර්ධනය වන පරිදි අධ්‍යාපනය ලබාදීම.
මීට අමතරව, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්වවිද්‍යාලය හරහා ගුරුවරුන්ට ඩිප්ලෝමා ලබාදීම, ආදර්ශ පෙර පාසල් 2ක් පිහිටුවීම, ගුරුවරුන් 1000කට පුහුණුව ලබාදීම, ඉගැන්වීම් උපකරණ ලබාදීම සහ ජංගම කියවීම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම වැනි කරුණු ද ඇතුළත් වේ.
















