රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සාධාරණයක් ඉටු කර දීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය සහ පුත්‍රයා ඊයේ (08) මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මනෝරි සලේ මහත්මිය සහ ඇයගේ පුත්‍රයා ඊයේ දින මහනුවර සංචාරයක නිරත වෙමින් පැයකට අධික කාලයක් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේලා සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
තම ස්වාමිපුරුෂයා මුහුණ දී සිටින තත්ත්වයන් පැහැදිලි කරමින්, ඔහු වෙනුවෙන් සාධාරණයක් ඉටු කරවා ගැනීම සඳහා ගෞරවනීය මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන ලෙසට මනෝරි සලේ මහත්මිය එහිදී මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ශ්‍රද්ධාවෙන් යුතුව ඉල්ලා සිටි බව ද වාර්තා වේ.
















