බලශක්ති සහයෝගිතාව වර්ධනය කරගැනීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරමින් අමෙරිකාවේ රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා හෙට (17) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව අමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
හෙට සිට ලබන 22 දක්වා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිත අමෙරිකානු රාජ්ය ලේකම්වරයා මුම්බායි සහ ජාම්නගර් නගරවල සංචාරය කරමින් ඉන්දීය ජ්යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. අමෙරිකානු-ඉන්දීය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම, දිනකට බොරතෙල් බැරල් මිලියන 1.4ක් පිරිපහදු කිරීමේ ධාරිතාවකින් යුතු ලොව විශාලතම පිරිපහදු සංකීර්ණය වන රිලායන්ස් පිරිපහදුව පිහිටි ජාම්නගර් නගරය නිරීක්ෂණය කිරීම ද මෙම සංචාරයේ විශේෂ අංගයකි. රිලායන්ස් සමාගමේ ආයෝජනයක් යටතේ අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ නව තෙල් පිරිපහදු සංකීර්ණයක් ස්ථාපිත කිරීමට අදාළ ගිවිසුම්ගත වීම් ද පසුගිය කාලයේ සිදුව තිබිණි.














