වත්මන් රජය බලයට පත්ව මාස 22ක් ගතවී ඇතත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හෝ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා චෝදනා කරයි. රටේ පවතින අර්බුද හමුවේ රජය දැඩි ප්‍රතිපත්තිවල නොසිට නම්‍යශීලීව කටයුතු කරන්නේ නම් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
මෙරට ආර්ථික වර්ධනය 7%ක් කරන බවට රජය පොරොන්දු වුවද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පුරෝකථනයන්ට අනුව එය පවතින්නේ 3%ක මට්ටමක බවත්, උද්ධමනය ද ඉහළ ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එසේම මෑතකදී ඇතිවූ සුළි කුණාටු ආපදාවෙන් කොළොන්නාව ප්‍රදේශයේ පවුල් දස දහසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පැවසූ ඔහු, නිසි ඔප්පු නොමැති වුවද ඔවුන් විදුලි, ජල සහ බදු බිල්පත් ගෙවන නීත්‍යානුකූල පදිංචිකරුවන් බැවින්, ජනාධිපතිවරයා පොරොන්දු වූ රුපියල් ලක්ෂ 10ක ආපදා වන්දිය ඔවුන්ට ද ලබාදීමට නම්‍යශීලී විය යුතු බව අවධාරණය කළේය.
















