මාතර බන්ධනාගාරය තුළ හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණය හරහා රැඳවියන්ගේ සුබසාධන පහසුකම් දියුණු කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඊයේ (19) මාතර බන්ධනාගාරයේදී ස්ථාපිත කරන ලදී.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන මුල් අදියර (Pilot Project) යටතේ මාතර බන්ධනාගාරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.
බන්ධනාගාරගත හදිසි අවස්ථාවකදී අදාළ රාජ්‍ය ආයතන අතර ක්‍රියාකාරී සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට සහ රැඳවියන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීමට මෙම නව යාන්ත්‍රණය හරහා පහසුකම් සැලසේ. මාතර බන්ධනාගාර අධිකාරී එච්.ඩී.කේ.එන්. ප්‍රේමවංශ, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න සහ 16 වැනි පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්.ඩී. පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.
















