ශ්‍රී ලංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.
1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී “බුදු සාදු” ගීතය ගායනා කරමින් සිය සංගීත ගමන ආරම්භ කළාය. පසුව 1961 වසරේදී “රන්මුතු දූව” චිත්‍රපටයේ “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළාය.
ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, ‘සත්‍යයේ ගීතය’, ‘පවන’, ‘හේමන්තයේදී’, ‘පෙම්බර ලංකා’ වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළාය. කුඩා දරුවන් වෙනුවෙන් “සින්දු හෝඩිය” ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත් අතර, ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
ඇගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පවුලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.
















