මට්ටක්කුලිය ෆර්ගියුෂන් පාරේ කැලණි ගංඉවුරේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු ලබන මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අධිකරණය අද (30) නියෝග කළේය. පොලිස් විමර්ශනවලට අනුව මෙම ඝාතනය පාතාල කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයකි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘පලනි රිමෝෂන්’ සහ ‘කොටහේන අරවින්’ යන අයගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී තිබේ. ඝාතනයට ලක් වූ තරුණයා සිය රාජකාරි නිමවා නිවස බලා යමින් සිටියදී මහවත්ත ඔරලෝසු කණුව අසලදී බලහත්කාරයෙන් මෝටර් රථයකට නංවාගෙන ඇති අතර, එම රථය තුළදීම ඔහුව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සීසීටීවී (CCTV) දර්ශනවලට අනුව සිරුර හමුවූ ස්ථානය අසල අදාළ රථය විනාඩි 10ක පමණ කාලයක් නතර කර තබා ඇත.
මෙම ඝාතනයට මුල් වී ඇත්තේ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමකි. ඝාතනයට ලක් වූ තරුණයාගේ සහෝදරයා බන්ධනාගාරය තුළදී පුද්ගලයෙකුට පහරදීමක් සිදු කර ඇති අතර, එම පහරදීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බව සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් සහ මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව ද අනාවරණය විය. කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














