මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ, දැනට වැඩ තහනමට ලක්ව සිටින අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ මළ සිරුර අද (30) දහවල් සිය නිවස පිටුපස ගෙවත්තේ තිබී සොයාගත් අතර, මියයන විට ඔහුගේ පාද දෙකේ සහ වම් අතේ බල නහර කැපී තිබීමත් සිරුර අසල ලේ තැවරුණු පිහියක් තිබීමත් නිසා මෙය සැකකටයුතු තත්ත්වයක් ලෙස සැලකේ.
පොලිස් විමර්ශනවලට අනුව, ඔහුගේ බිරිඳ පාසල් ගොස් සිටි අවස්ථාවේදී ඔහු පිහියක් රැගෙන නිවස පිටුපසට යන අයුරු දියණිය විසින් දැක තිබේ. මියගිය නිලධාරියා මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව්දෙනා අතරින් විමර්ශනවලට අත්‍යවශ්‍යම පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබූ අයෙකි. මීට පෙර ඔහු අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටිමින් අදාළ වංචාව පිළිබඳ විමර්ශන සඳහා සහය ලබා දී තිබීම ද විශේෂත්වයකි.
දේහය මේ වන විට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (මැයි 01) පැවැත්වීමට නියමිතය. මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු වසන් කිරීම සඳහා සිදුකළ ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය දැඩි අවධානයක් යොමු කර ඇත.














