මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා දෙස් විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් අභිලාෂ කැඳවීම සඳහා ලබා දී තිබූ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, මින් පෙර ජූනි 09 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අභිලාෂ කැඳවීමේ කාලසීමාව 2026 ජූලි 09 වැනි දින දක්වා දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රය පුනර්ජීවනය කිරීමට සහ දකුණු පළාතේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට අදාළ මෙම වැදගත් ක්‍රියාවලිය, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මීට උනන්දුවක් දක්වන ආයෝජකයින් හට “අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රිකා” (Expressions of Interest – EOIs) ඉදිරිපත් කළ හැකිය.
හම්බන්තොට පිහිටි මෙම ගුවන්තොටුපළ වසර දහයකට පෙර විවෘත කළද, මෙතෙක් නිසි ලෙස ප්‍රයෝජනයට නොගත් ඉහළ විභවයක් සහිත ආයෝජන කේන්ද්‍රස්ථානයකි. සංචාරක සංවර්ධනය, ගුවන්තොටුපළ මෙහෙයුම්, භාණ්ඩ ප්‍රවාහන (Cargo), සැපයුම් දාම (Logistics), මෙන්ම නඩත්තු හා අළුත්වැඩියා කටයුතු (MRO) වැනි අංශයන්හි ආයෝජනය සඳහා මෙහි විශාල අවස්ථාවන් පවතී.
අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රිකා කැඳවීම ප්‍රධාන අංශ දෙකක් යටතේ සිදු කෙරේ. පළමුවැන්න ගුවන් තොටුපළේ අභ්‍යන්තර සීමාව තුළ සිදුවන සිවිල් ගුවන් මෙහෙයුම් ආවරණය වන Airside/Aerodrome Operations අංශයයි. දෙවැන්න ගුවන්තොටුපළේ අභ්‍යන්තර සහ බාහිර සීමාවන් තුළ සිදුවන ක්‍රියාකාරකම් ඇතුළත් Landside Operations අංශය වේ.
මත්තල ගුවන්තොටුපළේ ආයෝජන යෝජනාවලිය භාණ්ඩ ප්‍රවාහන සේවා, සැපයුම් දාම කළමනාකරණය, ගුවන් යානා නඩත්තු කිරීම සහ අළුත්වැඩියා කිරීම (MRO), ගුවන් යානා අමතර කොටස් නිෂ්පාදනය, ඇසුරුම්කරණය, ගබඩා කිරීම සඳහා වූ කාර්මික උද්‍යාන, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ සංචාරක හෝටල් සේවා වැනි විවිධ ක්ෂේත්රවලින් සමන්විත වේ. හම්බන්තොට වරායට සහ ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට ඇති සමීපතාවය මෙහි ඇති ප්‍රධාන තරඟකාරී වාසියකි.
ආයෝජකයින්ගේ ප්‍රාග්ධන හැකියාවන් සහ අවදානම් රුචිකත්වයන්ට ගැළපෙන පරිදි හවුල් ව්‍යාපාර (Joint Ventures), රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPP) සහ සෘජු ආයෝජන වැනි නම්‍යශීලී ආයෝජන ආකෘතීන් පිරිනැමෙන අතර, ගුවන්තොටුපළ සතු නවීන ධාවන පථ, මගී පර්යන්ත සහ භාණ්ඩ හැසිරවීමේ පහසුකම් වැනි දියුණු යටිතල පහසුකම් දැනටමත් ස්ථාපිතව ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර ආයතන සඳහා ද මෙම EOI ක්‍රියාවලිය විවෘත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි
















