මැදපෙරදිග පවතින නොසන්සුන් යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඖෂධ මිල වැඩි කරන ලෙස සැපයුම්කරුවන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අද (අප්‍රේල් 22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඖෂධ සැපයුම්කරුවන්ගේ ඉල්ලීම් පිළිබඳව රජය සලකා බලමින් සිටින අතර, රජයේ මූලික අවධානය යොමුව ඇත්තේ ජනතාවට ගුණාත්මක ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කිරීම කෙරෙහි බව ඔහු පෙන්වා දුන්නේය. පවතින ජාත්‍යන්තර යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, ඒ සඳහා ප්‍රමාණවත් ඖෂධ සංචිත රඳවාගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඖෂධ සැපයුම් පද්ධතිය මේ වන විට සැලකිය යුතු මට්ටමකින් ස්ථාවර වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, ඖෂධ සඳහා මුදල් ගෙවීමේදී මීට පෙර පැවති ප්‍රමාදයන් රජය විසින් නිරාකරණය කර ඇති බවද කීය. ඖෂධ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර් ක්‍රියාවලිය විධිමත් කර ඇති අතර, ඖෂධ සැපයුම් ජාලය සියයට සියයක් යථා තත්ත්වයට පත් වීම සඳහා තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.













