රට පුරා වකුගඩු ගල් රෝගයෙන් පෙළෙන දහස් ගණන් රෝගීන්ගේ සැත්කම් සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින්, ‘මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12) විවෘත කෙරිණි.
මේ වන විට වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කම් සඳහා රෝගීන් 5,000කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවට ඇස්තමේන්තු කර ඇත. මෙම නව මධ්‍යස්ථානය හරහා එම පොරොත්තු ලේඛනවලට විසඳුමක් ලබා දීමටත්, මුළු රටටම සේවා සලසා ගැනීමටත් අපේක්ෂා කෙරේ. වසර 20ක් තිස්සේ සිදු කර ගත නොහැකිව තිබූ මෙම ව්‍යාපෘතිය, අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මාස 03ක් වැනි කෙටි කාලයකදී ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නංවා තිබීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙරට සෞඛ්‍ය පද්ධතියේ පවතින ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව උපරිම ධාරිතාවෙන් භාවිතා කිරීමෙන් ජනතාවට ඉහළ සේවාවක් ලබා දිය හැකි බවයි. බොහෝ අවස්ථාවල ඌණ උපයෝජිත ගොඩනැගිලි සහ උපකරණ පවතින බව පෙන්වා දුන් ඇමතිවරයා, නීති සහ ප්‍රඥප්තිවලට මුවා නොවී ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් සෞඛ්‍ය සේවා සැකසිය යුතු බව වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මධ්‍යස්ථානය මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරන විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ට තම රෝගීන් මෙහි රැගෙන විත් නවීන තාක්ෂණික පහසුකම් යටතේ ශල්‍යකර්ම සිදු කිරීමට හැකි වනු ඇත. මෙම මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහයෝගය ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ලබා දෙන අතර, ව්‍යවසායක ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා ද නවීන උපකරණ පරිත්‍යාග කරමින් සහාය දක්වා ඇත.
















