දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය මත දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි අපේක්ෂා කළ හැකිය. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වැසි තත්ත්වයට අමතරව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ. කාලගුණික විපර්යාස හේතුවෙන් සිදුවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















