කොවිඩ් වසංගතයත් සමඟ අඩාල වූ ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ‘ගාවි’ (Gavi) එන්නත් සන්ධානය එක්ව දියත් කළ ගෝලීය වැඩපිළිවෙළක් යටතේ එන්නත් මාත්‍රා මිලියන 100කට අධික ප්‍රමාණයක් බෙදාහැරීමට සමත්ව තිබේ. 2023 වසරේදී ආරම්භ කළ “The Big Catch-Up” නැමති මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා ලොව පුරා රටවල් 36ක වයස අවුරුදු 1 සිට 5 දක්වා දරුවන් මිලියන 18.3කට ප්‍රතිලාභ ලැබී ඇති බව වාර්තා වේ.
මෙහි වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණය වන්නේ මීට පෙර කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොතිබූ (Zero-dose) දරුවන් මිලියන 12.3කට ඩිප්තීරියාව සහ පෝලියෝ වැනි මාරාන්තික රෝගවලට එරෙහිව ආරක්ෂාව සැපයීමට හැකිවීමයි. එසේම සරම්ප එන්නත ලබා නොතිබූ දරුවන් මිලියන 15ක් පමණ මෙම වැඩසටහන හරහා ප්‍රතිශක්තිකරණය ලබාගෙන තිබේ. මෙම ව්‍යාපෘතියේ අවසන් ඉලක්කය වූ දරුවන් මිලියන 21ක සීමාව කරා ළඟා වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සාර්ථකව නිම වෙමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ප්‍රධාන ආධාරකරුවන් ගෝලීය සෞඛ්‍ය අරමුදල් කපා හැරීමට පියවර ගැනීම මෙම ඉදිරි ගමනට බරපතළ බාධාවක් වී තිබේ. විශේෂයෙන්ම ඇමෙරිකානු සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් විසින් ‘ගාවි’ සන්ධානයට ලබාදෙන මූල්‍ය ආධාර නතර කිරීමට ගත් තීරණය හේතුවෙන් ලොව දුප්පත් රටවල දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය දැඩි අවදානමක පවතින බව යුනිසෙෆ් (UNICEF) ආයතනය අනතුරු අඟවයි. ලෝකයේ පවතින යුද ගැටුම් සහ ආර්ථික අර්බුද මැද මිලියන සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙවැනි ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ අවධාරණය කරති.














