27 April 2024
#දේශීය

ආර්ථිකයේ සාර්ථකත්වය රඳා පවතින්නේ කාන්තාවන් මත බව ඇමැති ඩලස්

රටට වැඩි වශයෙන් විදේශවිනිමය රැගෙන එන්නේ කාන්තාවන් බවත්, ආර්ථිකයේ සාර්ථකත්වය රඳා පවතින්නේ කාන්තාවන් මත බවත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) තිහගොඩ, කෝමංගොඩ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කඹුරුපිටිය කාන්තා බලමණ්ඩලය ඇමතූ අවස්ථාවේදීය.

කාන්තා බල මණ්ඩල නියෝජනය කරමින් කාන්තාවෝ 500 ට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

එහිදි අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “දකුනු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා රටක් විනාශ කල හැකි ආකාර දෙකක් පැවසූවා. එකක් තමයි රටේ අධ්‍යාපන ක්‍රමය අවුල් කිරීම. දෙවැන්න තමයි එම රටේ විභාග ක්‍රමය අවුල් කිරීම. රටක් විනාශ කිරීමට එය හොඳටම ප්‍රමාණවත්. සංවර්ධිත රටවල දරුවන් දේශපාලකයන් පසුපස යන්නේ නැහැ රැකියා බලාපොරොත්තුවෙන්. ඒ රටවල හොඳ ආර්ථිකයක් සමග රැකියාවක් කළ හැකි අධ්‍යාපනයක් දරුවන්ට ලබාදී තිබෙනවා. අපිත් ඒ මට්ටමට අපේ අධ්‍යාපනය රැගෙන ආයුතුයි. ඒනිසා මම සැමදා මුල්තැන ලබාදුන්නේ දරුවන්ගේ අධ්‍යාපනයටයි. 2019 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ පැවතියේ ජාතික පාසල් 373යි. ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ සුවිශේෂම කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහල නැංවීම. මම ජනාධිපතිතුමාට යෝජනා කලා මෙම ජාතික පාසල් 1000 ක්‍රියාත්මක කරන විට එකඳු ජාතික පාසලක් හෝ නොමැති කොට්ඨාස වලට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස. ඒ යටතේ කිරින්ද පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයත්, පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයත්, යටියන මධ්‍ය මහා විද්‍යාලයත්, හක්මන මෙතෝදිස්ත විද්‍යාලයත් දැනටමත් අපි ජාතික පාසල් බවට පත්කර අවසානයි. පසුගිය කාලයේ පාසල් වැසීම දරුවන්ගේ අධ්‍යාපන වැඩවලට බෙහෙවින් බල පෑවා. අපිට නැවතත් පාසල් වැසිය නොහැකියි. පාසල් වහන්න සිදු වුනොත් එය දරුවන්ගේ අනාගතයට බරපතල ලෙස බලපානවා. මේ සියල්ලම අපි සිදු කරනුයේ , කැප කරනුයේ දරුවන් වෙනුවෙන්. ඒක අපේ ආණ්ඩුවේ මූලික වගකීමක්.” අලහප්පෙරුම මහතා කිවේය.

මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය කේශිලා ජයවර්ධන මහත්මිය, හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය, පාර්ලිමේන්‍තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා සහ ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක් සහභාගී වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *