මාලදිවයිනේ විලා නෝටිකාහි (Villa Nautica) අද (11) ආරම්භ වූ 21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙට (12) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය. ලබන 14 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආසියානු කලාපයේ රටවල් රැසක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ වෘත්තිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.
මෙම ජාත්‍යන්තර සමුළුවේ සිව්වන සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ආරාධනා ලැබී ඇති අතර, එහිදී මාධ්‍ය ප්‍රතිපත්ති, මහජන තොරතුරු ප්‍රචාරණය සහ සන්නිවේදන වගකීම් පිළිබඳව ඒ මහතා අදහස් දැක්වීමට නියමිතය. බංග්ලාදේශය, ටිමෝරය වැනි රටවල අමාත්‍යවරුන් මෙන්ම සාක් (SAARC) සහ බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානවල මහ ලේකම්වරුන් ද මෙම සමුළුවට එක්ව සිටීම විශේෂත්වයකි. කලාපීය මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගත අභියෝග සහ වෘත්තීයභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.














