ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්, මිරිදිය හා කරදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා උසස් තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් සෞඛ්‍යාරක්ෂිතව මාළු විජලනය කිරීමේ ගෘහයන් ඉදි කිරීමේ නියමු ව්‍යාපෘතියක් විද්‍යා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වත්තලදී දියත් කෙරිණි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා (VIDATHA) අංශය විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ, වත්තල සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ධීවර සමිති තුනක් තෝරාගෙන මෙම නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා කාර්මික තාක්ෂණ ආයතනය (ITI), නාරා (NARA) ආයතනය, ජන තාක්ෂණ ආයතනය සහ නර්ඩ් (NERD) ආයතනය ඇතුළු ආයතන ගණනාවක් සිය සම්පත් දායකත්වය ලබා දෙයි. මීට අමතරව, මත්ස්‍ය අපද්‍රව්‍යවලට වටිනාකම් එකතු කිරීමේ තාක්ෂණයන් පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සහ නව ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ වැඩසටහන් ද මෙම ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














