මොරටුව කොට්ඨාශය තුළ සිදුවන රථ වාහන අනතුරු අවම කිරීම සහ විවිධ රථ වාහන වැරදි හඳුනා ගැනීම වෙනුවෙන් පොලිස් රථ වාහන මූලස්ථානයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ විශේෂ පැය 4ක මෙහෙයුමකදී සැකකරුවන් 87 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මොරටුව කොට්ඨාශයේ පමණක් රථ වාහන අනතුරු හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුම දියත් කර ඇත.
පොලිස් රථ වාහන මූලස්ථානය, ගල්කිස්ස කොට්ඨාශ රථ වාහන අංශය සහ මොරටුව පොලිසියේ රථ වාහන අංශ එක්ව ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම සඳහා සුවිශේෂී උපාය මාර්ග රැසක් භාවිත කර තිබුණි. ඒ අනුව, මගී බස් රථ රියදුරන් සිදුකරන අනීතික ධාවන ක්‍රියාවන් රහසිගතව වීඩියෝගත කිරීම සඳහා බස් රථ තුළට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබූ අතර, මාර්ග බාධක යොදා සිදුකළ පරීක්ෂාවලට අමතරව මගී බස් රථවලදී කාන්තාවන්ට සිදුවන හිරිහැර වැළැක්වීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ද සම්බන්ධ කර ගැනීමට පියවර ගෙන තිබේ.
මෙහිදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අන්තරායකර ලෙස රිය පැදවූ පුද්ගලයන් දෙදෙනෙකු, අධික වේගයෙන් රිය ධාවනය කළ රියදුරන් 12 දෙනෙකු, වලංගු රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනයේ නිරත වූ 7 දෙනෙකු සහ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ රියදුරන් 12 දෙනෙකු ද ඇතුළුව සමස්ත වැරදිකරුවන් 87 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත් විය.













