නීත්‍යානුකූලව ලියාපදිංචි නොකළ පෞද්ගලික සමාගමක් හරහා ශ්‍රී ලංකාවට රැපිඩ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Kits) ආනයනය කිරීම හේතුවෙන් රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. රුපියල් බිලියන 3.1ක් වටිනා ඇන්ටිජන් කට්ටල මෙරටට ආනයනය කිරීමේදී මෙම මහා පරිමාණ දූෂණය සිදුව ඇති බව අදාළ පැමිණිල්ලේ පැහැදිලිව සඳහන් කර ඇත.
මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව කරුණු හෙළිදරව් කරමින් අල්ලස් කොමිසම වෙත නිල වශයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසිනි. එම ලැබුණු පැමිණිල්ලට අනුව විධිමත් හා විස්තීර්ණ විමර්ශනයක් පැවැත්වීමට කොමිසම මේ වන විට තීරණය කර ඇති අතර, ඒ පිළිබඳව පැමිණිලිකාර සංජය මහවත්ත මහතා වෙත ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ලිඛිතව දැනුම් දී තිබේ.













