පුද්ගලයෙකුගේ ඇඳුම, කොණ්ඩා විලාසිතාව හෝ සිරුරේ පච්චයක් තිබීම පමණක් පදනම් කරගෙන ඔහු අපරාධකරුවෙකු ලෙස හඳුන්වන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වත්මන් රජය බලයට පත්වීමේදී ජනතාව පීඩාවට පත් කරන නීති ඉවත් කරන බවට පොරොන්දු ලබාදී තිබූ බවයි.
කෙසේ වෙතත්, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් නව නීති මෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත (PSTA) ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එමඟින් රජය සිය පොරොන්දු වලින් බැහැරව කටයුතු කරන බවට චෝදනා කළේය.
මෙවැනි නව නීති හඳුන්වා දෙන්නේ රජයට අවශ්‍ය ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින්ද යන්න පිළිබඳ බරපතළ සැකයක් පවතින බව ද මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














