උද්දමනය, අධික ජීවන වියදම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ වත්මන් රජය ජනතාවට කිසිදු සහනයක් ලබා දී නැති බවත්, ජනතාව මත පටවා ඇති අධික බදු බර නිසා ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මැදපෙරදිග යුද බලපෑම අඩුවීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 75ත් 80ත් දක්වා පහත වැටී තිබුණ ද ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවද ලෝක තෙල් මිල ඉහළ නොගිය පසුබිමක, පැරණි තොග සඳහා මිල වැඩි කරමින් ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග රජයක් තිබුණේ නම් මීට වඩා හොඳින් ප්‍රශ්න කළමනාකරණය කර ඉන්ධන මිල වහා අඩු කරන බවත් ඔහු අවධාරණය කළේය.
ආණ්ඩුවේ විනිවිදභාවය පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) යටතේ ඉන්ධන මිල ගණන් පිළිබඳ විමසූ විට නිසි තොරතුරු ලබා නොදෙන බවත්, වත්මන් පාලනය තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පවා අකර්මණ්‍ය කිරීමට කටයුතු කරමින් සිටින බවත් චෝදනා කළේය.
මීට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා, ප්‍රහාරයේ මහමොළකරු හෙළි කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සැබෑ සටනක් කළේ සමගි ජන බලවේගය පමණක් බවත්, ජාතික ජන බලවේගය (NPP) ඒ වෙනුවෙන් කිසිවක් නොකළ බවත් ප්‍රකාශ කළේය. එසේම එදා ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන නිලධාරීන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියේ ද සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු තම පක්ෂය පමණක් බව සිහිපත් කළ ඔහු, සමගි ජන බලවේගය කිසිවිටෙකත් පාස්කු ප්‍රහාරය ඡන්ද ලබාගැනීම සඳහා දේශපාලනීකරණය නොකරන බව ද පැවසීය. කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කළ පරිදි රටේ සිදුවූ ප්‍රධාන ඝාතන සහ පාස්කු ප්‍රහාරයේ විමර්ශන යටපත් වීමට ඉඩ නොදිය යුතු බවත්, තම පක්ෂය බලයට පත් වූ විගසම මෙම අපරාධවලට සම්බන්ධ සැමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















