තමන්ට වාසිදායක යැයි හැඟෙන වේලාවට මැතිවරණවලට ඉදිරිපත්වී, අවාසි සහගත අවස්ථාවලදී පැත්තකට වී සිටින ප්‍රතිපත්තිගරුක නැති දේශපාලන ගමනක් තමන්ට නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. මහනුවරදී පෙරේදා (21) පැවැති දේශපාලන හමුවකදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, එක්සත් ජාතික පක්ෂය (එජාපය) සමඟ තමන් ඉදිරියේදී එකතු වන්නේ ප්‍රතිපත්තිමය පදනමක් මත මිස තනතුරු ලබාගැනීමේ උන්මාදයකින් නොවන බවයි. පක්ෂ දෙකේම අනන්‍යතාව සුරක්ෂිත වන පරිදි මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත්, රට වෙනුවෙන් සිදුකරන මෙම එකතුවට වමේ මෙන්ම දකුණේ ඕනෑම ප්‍රතිපත්තිගරුක කණ්ඩායමකට මැද මාවතක් ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් ඔහු කියා සිටියේය.
මැතිවරණ ජයග්‍රහණයක් සඳහා බහුතර ජනතාවගේ ඡන්දය අවශ්‍ය වුවද, 2019 වසරේදී මෙන්ම 2024 වසරේදී ද එම බහුතර විශ්වාසය දිනා ගැනීමට සමගි ජන බලවේගයට නොහැකි වූ බව විපක්ෂ නායකවරයා මෙහිදී පිළිගත්තේය. කෙසේ වෙතත් රටේ ප්‍රධාන විපක්ෂය සමගි ජන සන්ධානය බවත්, විපක්ෂයේ සෙසු කණ්ඩායම් ලබාගෙන ඇති පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව දෙස බැලීමෙන් ඔවුන්ගේ තරම සහ බලය පැහැදිලි වන බවත් ඔහු සිහිපත් කළේය. වත්මන් ආණ්ඩුව බොරුවෙන් තමන්ගේ දේශපාලන ආයුෂ දීර්ඝ කර ගැනීමට උත්සාහ කරන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමත් සමඟ පාකිස්තානය පවා මිල අඩුකළ බැවින් ලාංකීය ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකර තෙල් හා විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.
පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බවත්, තමන්ගේ බොරුවලට වැඩි ආයුෂක් නැති බවත් ආණ්ඩුව හොඳින්ම දන්නා නිසා ඔවුන් අද ජනමතයට මුහුණ දීමට බියෙන් පසුවන බව විපක්ෂ නායකවරයා පැවසීය. එම නිසා “පුළුවන් නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වා පෙන්වන්න” යැයි තමන් වත්මන් ආණ්ඩුවට සෘජු අභියෝගයක් කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















