දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග (NCD) පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ කරගනිමින් විශේෂ කාර්යසාධන බළකායක් ගොඩනඟන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැති “සෞඛ්‍යසම්පන්න පාසල් ආපණශාලා පිළිබඳ මාර්ගෝපදේශය” එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේදීය. වර්ෂ 2070 සහ 2080 වැනි අනාගතයේදී මෙරට වයස්ගත ජනගහනය බවට පත්වන වත්මන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සැලසුම් කර ඇති අතර, මෙම කෙටි ආහාර මාර්ගෝපදේශය පාසල්වලට පමණක් සීමා නොකර සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල ඉහළ මට්ටමේ රැස්වීම් සහ උත්සව සඳහා ද අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
“කෙටි ආහාර ගැන නැවත සිතමු. සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික කෙටි ආහාර තෝරමු” යන්න තේමා කර ගනිමින් 2026 වසරේ පෝෂණ මාසය ක්‍රියාත්මක වන අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් මෙරට පවතින බරපතළ පෝෂණ ඌනතා දත්ත කිහිපයක් ද හෙළි කර තිබේ. ඒ අනුව, 2025 වසරේ ජාතික පෝෂණ මාසයේ දත්තවලට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් අතර මිටිබව සියයට 10.1 ක් ද, කෘශබව සියයට 8.6 ක් ද, අඩු බර සියයට 16.1 ක් සහ අධි බර හෝ තර්බාරුකම සියයට 0.57 ක් ලෙස වාර්තා වේ. එමෙන්ම 2025 දත්තවලට අනුව ගර්භිණී මව්වරුන්ගෙන් සියයට 13.2 ක් පළමු මාස තුන තුළ අඩු බරින් යුක්ත වන අතර, මාතෘ සායනයේ ප්‍රථම වරට ලියාපදිංචි වන මව්වරුන්ගෙන් සියයට 14.3 ක්ම මධ්‍යස්ථ සහ උග්‍ර මට්ටමේ රක්තහීනතාවයෙන් පෙළෙන බව හෙළි වී ඇත.
මීට අමතරව, මෙරට වැඩිහිටි ජනගහනය ද දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ, 2021 වසරේ පවත්වන ලද STEPS සමීක්ෂණ දත්ත ද සිහිපත් කළේය. එම දත්තයන්ට අනුව වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 47.6 ක් සහ වැඩිහිටි පිරිමින්ගෙන් සියයට 30.0 ක් අධි බරින් යුක්ත වන අතර, වැඩිහිටි කාන්තාවන්ගෙන් සියයට 15.2 ක් සහ වැඩිහිටි පිරිමින්ගෙන් සියයට 6.3 ක් ස්ථුලතාවයෙන් (Obesity) පෙළෙන බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය වෙනස් කරමින් ජනතාව නිසි පෝෂණ පුරුදු වෙත යොමු කිරීම මෙම නව වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
















