“ගොවියන් රජවරුන් ලෙස හැඳින්වීම අතීතයේ සිට පැවත එන අසත්‍ය ප්‍රකාශයක්” බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඓතිහාසික කරුණු ගෙනහැර දක්වමින් අදහස් පළ කර තිබේ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ප්‍රකාශය රටේ සමස්ත ගොවි ජනතාවටම පොදුවේ කළ එකක් නොව, විශේෂිත ඓතිහාසික පසුබිමක් සහිත ප්‍රකාශයක් බවයි.
රොබට් නොක්ස්ගේ වාර්තා උපුටා දක්වමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, මහනුවර යුගයේදී උඩුනුවර සහ යටිනුවර ප්‍රදේශවල ගොවිතැන් කටයුතුවල නිරත වූවන් එම සමාජයේ ඉහළ කුලවලට අයත් පුද්ගලයන් බවයි. එම ඓතිහාසික පසුබිම තුළ “මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි” යන කියමන බිහිවූ බවත්, එය රටේ සෑම ප්‍රදේශයකම සිටින ගොවීන්ට අදාළව පැවසූවක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් සඳහන් කර ඇත්තේ ද මෙම ඓතිහාසික සත්‍යය පිළිබඳව විය හැකි බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















