තංගල්ල කාල්ටන් නිවසේදී මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ඕනෑම අයෙකුට අතපසුවීම් විය හැකි බවත්, එම වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යාම වැදගත් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
අතීතයේ යම් වැරදි හෝ අතපසුවීම් සිදුව ඇති බව පිළිගත යුතු අතර ඒවා නිවැරදි කරගනිමින් රටක් සහ ජාතියක් ලෙස ගොඩනැගීමට තරුණ පරම්පරාව පෙරමුණ ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. නූතන ලෝකයට ගැළපෙන දක්ෂ තරුණ පරම්පරාවක් මෙරට සිටින බවත්, ඔවුන් කෙරෙහි පවතින විශ්වාසය තවදුරටත් ගොඩනැංවිය යුතු බවත් ඔහු පැවසීය. 1983, 1988-89 සහ මෑතකදී 2022 වසරේ සිදුවූ හුදකලා සිදුවීම් කිහිපයක් නිසා සමස්ත තරුණ පරම්පරාවම මැනිය නොහැකි බවත්, රටේ අනාගතය වෙනුවෙන් ඔවුන්ව ඒකරාශී කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අපගේ සංස්කෘතික උරුමය මතු පරම්පරාවට දායාද කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු, එළඹී ඇති වසර අභියෝගාත්මක වුවත් එම අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට යාමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළේය.














