පේන මානයක මැතිවරණයක් නොමැති බව දැන දැනත් ජනතාව අව් වැසි නොතකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම්වලට එක්වෙමින් සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කුරුණෑගල හිරියාල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු කියා සිටියේ, වත්මන් ආණ්ඩුව බලය ලබා ගැනීමට දුන් පොරොන්දු ඇස් පනාපිටම කඩා වැටෙමින් පවතින පසුබිමක, ජනතාව යළි සත්‍ය අවබෝධ කරගනිමින් සිය පක්ෂය වටා එක්වෙමින් සිටින බවයි.
ගමින් ගමට යන අවස්ථාවේදී කිසිදු මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, සෑම ගමකම සහ සෑම කොට්ඨාසයකම රටට ආදරය කරන පිරිස පක්ෂය වටා රොක් වන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. “අව් රශ්මිය තිබ්බත් වැස්ස තිබ්බත් ඒ හැම ගමකම අපේ පක්ෂය වටා එක්රොක් වුණා. අපි තවම අපේ බලය පෙන්නුවේ නැහැ,” යැයි ඔහු පැවසීය. අරගලය හිටපු තරුණ පිරිසට බොරු කියා රවට්ටා ගෙවල් දහස් ගණනක් ගිනි තබා වත්මන් ආණ්ඩුව බලයට පැමිණි බවට ද ඔහු චෝදනා කළේය.
මෙම රැස්වීමේදී අම්මලා දරුවන් වඩාගෙන, තරුණ පිරිස ඒකරාශී වී සිටීම දෙස බලන විට ජනතාවගේ විශ්වාසය තහවුරු වන බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුවට කෙඳිරි ගාන්නේ නැතිව වැඩ කරන ලෙස අභියෝග කළේය. “ශක්තිමත් වෙන්න, ඒකරාශී වෙන්න. අපි මේ මහ පොළොවේ පය ගහපු, යථාර්ථය හඳුනන, සතා සිවුපාවට ගහ කොළට ආදරය කරන ආණ්ඩුවක් බිහි කරන සටන පටන් ගමු,” යැයි පවසමින් ඔහු ජනතාවට ආරාධනා කළේය.














