ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ (JVP) මැයි දින වේදිකාවේ සිට නඩු තීන්දු ලබා දෙමින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (04) කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මැයි දින රැළියේදී කම්කරුවන්ගේ අයිතිවාසිකම් හෝ ආර්ථිකය ගොඩනැගීම ගැන කතා නොකර, විපක්ෂය හිරේ දාන ආකාරය ගැන පමණක් කතා කළ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. නඩු තීන්දු දීම ජේ.වී.පී. වේදිකාවේ සිදුවන බව එදින තහවුරු වූ බවත්, විධායක ජනාධිපති ධුරය මෙලෙස පහත් තත්ත්වයකට වැටීම ලැජ්ජාවට කරුණක් බවත් ඔහු පැවසීය. කෙසේ වුවද, අධිකරණ පද්ධතිය කෙරෙහි තවමත් විශ්වාසය පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ඇති බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත දැනුම්දීමක් ලැබී නොමැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මෙය බලහත්කාරයෙන් ලබාගත් ප්‍රකාශයක් මත පදනම් වූවක් බවත්, මහින්ද රාජපක්ෂ මහතා මීට වඩා දරුණු අභියෝගවලට පිළිතුරු දී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මැයි දිනයට පෙර ඉන්ධන මිල වැඩි නොකරන බව පවසා මැයි රැලිය අවසානයේ මිල ඉහළ දැමීම හරහා ආණ්ඩුව බොරු කියන බව තහවුරු වී ඇති බව ඔහු චෝදනා කළේය. එමෙන්ම පොලිසිය ද දේශපාලනීකරණය වී ඇති බව පෙන්වා දුන් ඔහු, මරණ පරීක්ෂණ වාර්තා එන්නට පෙර ඇතැම් සිදුවීම් සියදිවි හානිකර ගැනීම් ලෙස පොලිසිය ප්‍රකාශ කිරීම සැක සහිත බව සඳහන් කළේය.
පක්ෂයක් ලෙස ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ගම් මට්ටමින් පවතින ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.














