නීතිය සැමට සමාන විය යුතු බවත්, රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් වත්මන් රජය වහාම අදාළ පාර්ශ්වයන්ට එරෙහිව පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
තමන් කිසිදු වරදක් කර නොමැති බැවින් ඕනෑම අවස්ථාවක රටේ අධිකරණ පද්ධතිය ඉදිරියේ පෙනී සිටීමට තමන් සූදානම් බවයි ඒ මහතා මෙහිදී අවධාරණය කළේ. ඩොලරයේ අගය අඩු වූ බව රජය පුරසාරම් දෙඩුවද, එය මේ වන විට නැවතත් ඉහළ යමින් පවතින බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ වත්මන් රජය බලයට පැමිණියේත්, මේ වන විට බලය පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේත් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුලා කිරීම හරහා බවට දැඩි ලෙස චෝදනා කර සිටියේය.
















