රටේ ජනතාව අද වන විට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ජීවත් වීමට නොහැකිව තම කනකර උකස් කරමින් ජීවත් වන තත්ත්වයක් උදා වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රටේ දරිද්‍රතාවය සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත්, ජනතාව දැඩි පීඩනයකින් ජීවත් වන බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද මැතිවරණ සමයේ පොරොන්දු වූ උපාධිධාරීන්ගේ රැකියා අවස්ථා ලබා නොදීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා නිසි මිලක් නොමැති වීම ජනතාව මුහුණ දෙන ප්‍රධාන අර්බුද බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
ආණ්ඩුව සිය පාලන කාලය තුළ අසමත් වී ඇති බවත්, එම පීඩනය විපක්ෂය මත පටවමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා ඇතැම් පිරිස් ආර්ථික වාසි ලබා ගන්නා බවටත් ඔහු චෝදනා කළේය. ‘දිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් රජය මේ දක්වාත් නිසි සහනයක් ලබා දී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ත්‍රස්ත විමර්ශන පනත දේශපාලන අරමුණු සඳහා භාවිත නොකරන ලෙසත්, සුරේෂ් සලේ වැනි පුද්ගලයන් අත්අඩංගුවේ තබාගෙන සිටීම දේශපාලනීකරණය නොකර පවතින නීතිමය පරීක්ෂණ විනිවිදභාවයකින් යුතුව සිදු කරන ලෙසත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















