වසර තිහක් පැවති දරුණු යුද්ධය අවසන් කිරීම සඳහා සෑම ජාතියක්ම නියෝජනය කරන පුරවැසියන් සහ රණවිරුවන් විශාල කැපකිරීමක් කළ බැවින් ඔවුන් සැමවිටම ගෞරවයට ලක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇතැම් පිරිස් අප සටන් කළේ දෙමළ ජනතාව සමඟ බව පෙන්වීමට උත්සාහ කළ ද, රජය සටන් කළේ දෙමළ ජනතාව සමඟ නොව ත්‍රස්තවාදීන් සමඟ බව නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. වත්මන් රාජ්‍ය නායකයා රණවිරුවන්ට සුබ පැතීමට තරම් නිහතමානී නොවන බවත්, විමල් වීරවංශ මහතා රණවිරුවන් සැමරීමට ගිය අවස්ථාවේදී ඊට ඉඩ ලබා නොදුන් බවත් පැවසූ මන්ත්‍රීවරයා, රටේ ඒකීයත්වය ආරක්ෂා කිරීමට තමන් නිරන්තරයෙන් පෙනී සිටින බව ද සඳහන් කළේය.
රජයේ බදු ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, දැනට පනවා ඇති අසීමිත බදු සහ ‘ටින්’ (TIN) අංකය පිළිබඳව ද කතා කළේය. ජීවිතයේ කිසි දිනක බදු ගෙවා නොමැති අයට ජනතාවගේ බදු බරේ වේදනාව නොදැනෙන බවත්, බදු පැහැර හරින අයට එරෙහිව පියවර ගත යුතු වුව ද සාමාන්‍ය ජනතාව දෙස බලා කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියේය. එමෙන්ම විදුලි බිල, වතුර බිල ඉහළ යමින් පවතින බවත්, පොහොර සහනාධාර දෙන බව පැවසුව ද ඒවා නිසි ලෙස ඉටු නොවන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් චෝදනා කළේය.












