අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගායනා කරන ලද, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත කිසිදු ගීතයක් වාණිජ්‍ය පරමාර්ථයෙන් යුතුව නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි ‘කැපිටල් සිටි ලෝ’ නීතිඥ සමාගම විසින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
එම නිවේදනයට අනුව, අදාළ නිර්මාණ වාණිජ අරමුණින් යුතුව නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්ස්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල ගායනා කිරීම සපුරා තහනම් වේ. එමෙන්ම මෙම ගීත වාණිජ්‍ය පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම ද නීති විරෝධී වන අතර, මෙම නීතිමය ක්‍රියාමාර්ගය 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වන වගන්තිවලට මෙන්ම ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය සහ සේ මියුසික් යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසිවලට අනුකූලව ගෙන තිබේ.
මෙම ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය සහ වාණිජ අයිතිය මීට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහවුරු කර ඇති බැවින්, මෙම හිමිකම් කඩකරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව සිවිල් මෙන්ම අපරාධ නඩු පැවරීමට කටයුතු කරන බව අදාළ නීති සමාගම පෙන්වා දෙයි. මෙම නීතිමය බලාත්මකභාවය ශ්‍රී ලංකාව තුළ මෙන්ම මෙරටින් බැහැරව සිදුවන උල්ලංඝනයන්ට ද අදාළ වේ. කෙසේ වෙතත්, වාණිජ්‍ය නොවන අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහාත්, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග ආදිය සඳහාත් මෙම තහනම අදාළ නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.














