තිරසර කෘෂිකර්මාන්තය හරහා රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය.
තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවැති “පශ්චාත් අස්වනු හානිය අවම කිරීම: ආහාර සැපයුම් දාමයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම” යන තේමාව යටතේ පැවැති ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපතිවරයා සහභාගි විය. තුර්කි කෘෂිකර්ම හා වන විද්‍යා අමාත්‍යාංශය සහ ‘සීරෝ වේස්ට්’ (Zero Waste) පදනම විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩසටහන (WFP), එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන නියෝජනය කරමින් සහභාගිවන්නන් රැසක් එක්ව සිටියහ.
මෙහිදී තානාපතිවරයා ශ්‍රී ලංකාව පශ්චාත් අස්වනු හානිය අවම කර ගැනීම සඳහා රජයේ ආයතන, පෞද්ගලික අංශය සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ශූන්‍ය අපතේ යෑම (Zero-Waste) තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ඔහු මෙහිදී නැවත තහවුරු කළේය.
මෙම සමුළුවේදී පර්යේෂණ සහ නවෝත්පාදන ශක්තිමත් කිරීම, ශීතකරණ ගබඩා ජාල (Cold chain networks) පුළුල් කිරීම, සැපයුම් පද්ධති වැඩිදියුණු කිරීම සහ තාක්ෂණය පදනම් කරගත් විසඳුම් මඟින් ගෝලීය ආහාර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම නිල හමුව සඳහා තුර්කියේ අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය නිලූෂා දිල්මිණි මහත්මිය ද සහභාගි වූවාය.
















