මෙරට මිරිදිය ඉස්සන් කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ අස්වැන්නක් ලබන ව්‍යාපාරික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති ප්‍රතිපාදන යටතේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා සඳහන් කරන පරිදි 2025 අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
මෙම නව ක්‍රමවේදය යටතේ සාම්ප්‍රදායිකව ඉස්සන් පසු-කීටයන් සෘජුවම ජලාශවලට මුදා හැරීම වෙනුවට, ජලාශය තුළම සකස් කළ විශේෂ කූඩු තුළ මාසයක පමණ කාලයක් ඔවුන් රඳවා පූර්ව වර්ධනයක් ලබා දී පසුව ජලාශයට මුදා හැරීම සිදු කෙරේ. මේ වන විට ගිරිතලේ වැව, අනුරාධපුර සහ උතුරු පළාතේ වැව් ආශ්‍රිතව පර්යේෂණාත්මක කූඩු 25ක් ස්ථාපිත කර ඇති අතර එමගින් ඉස්සන් පැටවුන්ගේ මර්දනය අවම කර අස්වැන්න විශාල වශයෙන් ඉහළ නංවා ගැනීමට හැකි වී තිබේ.
මීට පෙර ඉස්සන් කිලෝවක් ලබා ගැනීම සඳහා කීටයන් 300-400ක් වැව්වලට මුදා හැරීමට සිදු වුවද, නව කූඩු ක්‍රමය හරහා වර්ධනය වූ පැටවුන් 100කින් පමණ ඉස්සන් කිලෝවක අස්වැන්නක් ලබාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සාර්ථකත්වය හේතුවෙන් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් මෙන්ම ඌව සහ දකුණු පළාත් සභා ද ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට සහය ලබා දෙමින් සිටින අතර එමගින් මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම පාරිභෝගිකයින්ට වැඩි අස්වැන්නක් ලබා දීමට ද අවස්ථාව උදාවනු ඇත.















