අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී එල්ල කළ පිහි ප්‍රහාරයකින් නවගමුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා තිබේ. බදාදා අලුයම සිදු වූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත.නවගමුව වෑවල හන්දියේදී බස් රථයකින් බැසගත් තරුණයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී කතුරක්, පිහියක් සහ බ්ලේඩ් සොයාගෙන තිබේ. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන යතුරුපැදිවලින් පොලිසිය වෙත රැගෙන එමින් සිටියදී එක් සැකකරුවකු නිලධාරියා සමඟ පොරබදා ඇති අතර එහිදී යතුරුපැදිය පෙරළී ගොස් ඇත. එම අවස්ථාවේදී බිම වැටුණු පිහිය ගත් සැකකරු නිලධාරියාගේ අතට සහ යටිබඩ ප්‍රදේශයට ඇන ඇති බව වාර්තා වේ.අනෙක් යතුරුපැදියේ සිටි නිලධාරීන්ගේ සහය ඇතිව සැකකරු මෙල්ල කරගෙන ඇති අතර යතුරුපැදිය පෙරළීමෙන් සැකකරු ද තුවාල ලබා තිබේ. මොවුන් කොතලාවල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි 22 සහ 26 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.














