නාවලපිටිය, ගිනිගත්හේන, ගම්පොළ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ සහායකයෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පික්මී යෙදවුම හරහා කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් “යක්කල නාමල්” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් සහ අයිස් රැගෙනවිත් ප්‍රදේශ රැසකට බෙදාහැර ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
නාවලපිටිය ජයසුන්දර පාරේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඉතිරිව තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 2,450ක් සොයාගෙන ඇති අතර, එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, ස්ථානගත කිරීමේ ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදාහැරීමට සහාය වූ බව කියන 27 හැවිරිදි තරුණයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ, මීට මාස හතරකට පමණ පෙර නාවලපිටියට මත්ද්‍රව්‍ය සැපයූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම සැකකරු පික්මී ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස පෙනී සිටිමින් ජාවාරමට සම්බන්ධ වී ඇති බවයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දින තුනකට වරක් කොළඹ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඒවා බෙදාහරින පුද්ගලයන් වෙත ලබාදී ඇති බවත්, එක් ගමනක් සඳහා පික්මී කුලී රථ ගාස්තුවට අමතරව රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් ලබාගෙන ඇති බවත්ය.














