නාවලපිටිය රොජසන්ගම ප්‍රදේශයේ නිවසක් අසල ලදු කැලෑවක මන්දකට හසු වී සිටි කදුකර කොටියෙකු නිර්වින්දනය කර මුදා ගැනීමට ගිය පශු වෛද්‍යවරයාට පහර දී තුවාල සිදු කර ඇති අතර, එම කොටියා මන්ද කඩාගෙන රක්ෂිතයට පලා ගොස් තිබේ. ප්‍රදේශවාසීන් විසින් නාවලපිටිය පොලිසිය වෙත ලබා දුන් දැනුම්දීමකට අනුව පොලිසිය විසින් මේ බව වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇත.
මෙම කදුකර කොටි ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා ඇත්තේ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතායි. හොඳින් වැඩුනු සතෙකු වන මෙම කදුකර කොටියා නිර්වින්දනය කිරීමට ඔහුගේ ආසන්නයට යන අවස්ථාවේදී, කොටියා මන්ද කඩාගෙන තමන් දෙසට පැන රක්ෂිතයට පලා ගිය බව පශු වෛද්‍යවරයා පවසා තිබේ. කදුකර කොටියා නිරෝගීව සිටි නිසා මන්ද කඩාගෙන යෑමට හැකි වී ඇති අතර, කොටි ප්‍රහාරයෙන් පශු වෛද්‍යවරයාට සුළු තුවාල සිදුවුවද, මන්දට හසු වී සිටි කොටියාටද කිසිදු බරපතල තුවාලයක් සිදුවී නොමැත.














