ශ්‍රී ලංකාව දකුණු ආසියාවට සහ පුළුල් ඉන්දියානු සාගර කලාපයට විශ්වාසදායක මූල්‍ය තාක්ෂණ දොරටුවක් ලෙස ස්ථානගත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන 2026 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, ඒ සඳහා දිගුකාලීන ජාතික ඩිජිටල් පරිවර්තන ප්‍රවේශයක් අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
ඩිජිටල් මූල්‍යකරණය තාක්ෂණය භාවිත කිරීමෙන් ඔබ්බට ගොස් ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ මූල්‍ය ඇතුළත්කම ඉහළ නැංවීමට දායක විය යුතු බවත්, පාරිභෝගික ආරක්ෂාව, මූල්‍ය ස්ථාවරත්වය සහ සයිබර් ආරක්ෂාව ශක්තිමත් කරමින් මහජන විශ්වාසය ගොඩනැගීම වැදගත් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. භෞතික ඇපකර මත පමණක් නොව ආර්ථික ක්‍රියාකාරකම් සහ මුදල් ප්‍රවාහ මත පදනම්ව ණය සුදුසුකම් තක්සේරු කිරීමේ අවශ්‍යතාව මෙන්ම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ගොවීන් සහ කාන්තා ව්‍යවසායකයින් සඳහා ප්‍රාග්ධනයට ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ මූල්‍ය තාක්ෂණ ප්‍රතිපත්ති සඳහා දිගුකාලීන අඛණ්ඩතාවක් ඇති කිරීම පිණිස පාර්ලිමේන්තුව, රජය, කර්මාන්ත හා ශාස්ත්‍රීය ක්ෂේත්‍ර ඇතුළත් ජාතික ඩිජිටල් සංයුක්තයක් සංවර්ධනය කළ යුතු බවද ඔහු යෝජනා කළේය. රටක් ලෙස අරමුණ විය යුත්තේ දැනට පවතින ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම පමණක් නොව, අවශ්‍ය අනාගත ආර්ථිකය ගොඩනැගීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීම බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














