පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට අදාළ වන පරිදි දෙවන මට්ටමේ (ඇම්බර්) සහ පළමු මට්ටමේ (කහ) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මෙම නිවේදනය අද (15) පස්වරු 4.00 දක්වා වලංගු වන බව එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බදුරලිය, මතුගම, හොරණ සහ වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මීට අමතරව බදුල්ල, කොළඹ (සීතාවක), මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
නායයෑම් අවදානම් සහිත කඳුබෑවුම් ආශ්‍රිතව වෙසෙන ජනතාව පොළොවේ ඇතිවන ඉරිතැලීම්, ගස් සහ විදුලි කණු ඇලවීම්, හදිසියේ දිය උල්පත් මතුවීම සහ අසාමාන්‍ය ශබ්ද වැනි පූර්ව නායයෑම් ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව බලධාරීන් අවධාරණය කරයි. එවැනි ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසත්, ග්‍රාම නිලධාරී හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














