ජාතික සංවර්ධන බැංකුවේ (NDB) රුපියල් බිලියන 13.2ක මූල්ය වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවට, එහි අධ්යක්ෂවරුන්ට සහ බාහිර විගණකවරුන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට අවසර ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.
බැංකුවේ සුළුතර කොටස්කරුවකු වන එම්. ත්යාගරාජා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර, වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විසින් ඔක්තෝබර් 09 වැනිදා මෙම නියෝගය නිකුත් කර ඇත. අදාළ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්ය නීතිමය කොන්දේසි පෙත්සම්කරු විසින් සපුරා නොමැති බව අධිකරණය පෙන්වා දී තිබේ. මූල්ය වංචාව සම්බන්ධයෙන් බැංකුව විසින් දැනටමත් විශේෂ වෝහාරික විගණනයක් (Forensic Audit) ආරම්භ කර ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් නිරීක්ෂණය කර ඇති අධිකරණය, බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයෙන් ස්වාධීනව පෙත්සම්කරුට නීතිමය ක්රියාමාර්ග ගැනීමට අවසර ලබාදීම සාධාරණීකරණය කළ හැකි ප්රමාණවත් හේතු ඉදිරිපත් වී නැති බව සඳහන් කළේය. ඒ අනුව, පෙත්සම ප්රතික්ෂේප කළ අධිකරණය ඊට අදාළ නඩු ගාස්තු ගෙවන ලෙසද පෙත්සම්කරුට නියෝග කළේය.
















