මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 05 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු සිටින බව මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මිය තහවුරු කරයි.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ 100කට ආසන්න පිරිසක් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසුවන 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
අද පෙරවරුවේ බන්ධනාගාරය තුළ යළි හටගත් නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට උත්සාහ කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට පියවර ගෙන තිබිණි. උදෑසන 10.00ට පමණ ඇති වූ මෙම උණුසුම්කාරී වාතාවරණය හමුවේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬවල් කිහිපයක් ද ඇසී ඇති බව වාර්තා වේ.
තත්ත්වය පාලනය කරගැනීම සඳහා ආරක්ෂක අංශ මහත් පරිශ්‍රමයක් දැරූ අතර, බන්ධනාගාරය ඇතුළත නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන යානා දෙකක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබිණි. ආරක්ෂක තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් ද බන්ධනාගාර පරිශ්‍රය වෙත යොමු කර ඇත.














