ක්ලස්ටර් බෝම්බ (Cluster Munitions) හෙවත් පොකුරු බෝම්බවලින් තොර ලෝකයක් බිහිකිරීම සඳහා ශ්‍රී ලංකාව සතු කැපවීම ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා විසින් යළිත් අවධාරණය කර තිබේ. ඒ පසුගිය ජූලි 1 වැනිදා පැවැති පොකුරු බෝම්බ පිළිබඳ සම්මුතියේ (CCM) තෙවන සමාලෝචන සමුළුවට අදාළ දෙවන සූදානම් වීමේ රැස්වීම අමතමිනි.
එහිදී ලෝක මානුෂීය සහ සංවර්ධන රාමුවන්ට අනුකූලව සකස් කර ඇති ‘වියන්ටියන් අගනුවර ක්‍රියාකාරී සැලැස්ම 2027–2031’ (Vientiane Capital Action Plan) ශ්‍රී ලංකාවේ ඇගයීමට ලක්විය. එළඹෙන සැප්තැම්බර් මාසයේදී ලාඕසයේ පැවැත්වීමට නියමිත නිල සමුළුවේදී සම්මත කර ගැනීමට නියමිත මෙම පස් අවුරුදු සැලැස්ම වඩාත් ශක්තිමත් කිරීම සඳහා තානාපතිවරයා විසින් වැදගත් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කරන ලදී. පාරිසරික ආරක්ෂණය, වින්දිතයන්ට ආධාර කිරීම, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය ප්‍රවර්ධනය කිරීම මෙන්ම, දත්ත රැස්කිරීමේ තාක්ෂණික මෙවලම් දුර්වල රටවලට අවශ්‍ය සහාය ලබාදීමේ වැදගත්කම ද ශ්‍රී ලංකාව මෙහිදී පෙන්වා දුන්නේය.
















