මීගමුව බන්ධනාගාර ගැටුම පාලනය කිරීමේදී නිසි නියෝගයකින් තොරව ටී-56 ගිනිඅවි භාවිත කරමින් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවේ ඇති කුඩා කවුළුව හරහා නිලධාරියෙකු විසින් බන්ධනාගාරය තුළට වෙඩි තබා ඇති බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රශ්න කර සිටියේ, මෙලෙස වෙඩි තැබීම සඳහා නියෝග ලබා දුන්නේ කවුරුන්ද යන්නයි.
සිරකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම පැවතියද, මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් එතැන සිටි සියලුම නිලධාරීන් සාමූහිකව වගකිව යුතු බව හෙතෙම සඳහන් කළේය. මීට පෙර ද මෙවැනිම සිදුවීම් වාර්තා වී තිබියදීත්, අධිකරණ අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් මෙම තත්ත්වය නිසි ලෙස පාලනය කිරීමට හෝ විමර්ශනය කිරීමට අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරයි.
තවද, මහජන විශ්වාසය ගිලිහී ඇති පොලිසිය වෙනුවට වඩාත් වගකීමෙන් කටයුතු කළ හැකි යුද හමුදාව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවා ගැනීමට රජයට හැකියාව තිබූ බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය. පොලිසිය වර්තමානය වන විට ආණ්ඩුවේ අක්‍රමිකතා සඳහා යොදා ගන්නා ආයතනයක් බවට පත්ව ඇති බවටද ඔහු දැඩි විවේචනයක් එල්ල කළේය.
















