ශ්‍රී ලංකාවේ බස් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ තුනක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත එම ප්‍රධාන වෙනස්කම් පහත පරිදි වේ:
දුරස්ථ බස් සේවා සඳහා වෙනම ගාස්තු සූත්‍රයක්: කෙටි දුර සහ දිගු දුර බස් සේවා සඳහා එකම මිලකරණ ආකෘතියක් භාවිත කිරීම සාධාරණ නොවන බවත්, දිගු දුර ගමන් සඳහා ඉහළ මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඒවා සඳහා වෙනම ගාස්තු සූත්‍රයක් හඳුන්වා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සමූහ බස් සමාගම් පද්ධතියක් (Cluster Bus Company System): කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු 177, 170 සහ 190 යන බස් මාර්ග ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
බස් සේවා වර්ගීකරණය සරල කිරීම: මීට පෙර පැවති බස් සේවා කාණ්ඩ හතරෙන් අර්ධ සුඛෝපභෝගී සහ සුපිරි සුඛෝපභෝගී කාණ්ඩ ඉවත් කර, සාමාන්‍ය සහ සුඛෝපභෝගී යන කාණ්ඩ දෙක පමණක් පවත්වා ගැනීමට පියවර ගෙන ඇත. අර්ධ සුඛෝපභෝගී කාණ්ඩය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෑතකදී ඉන්ධන මිල ගණන් පහත වැටුණද, සෙසු මෙහෙයුම් පිරිවැය තවමත් ඉහළ මට්ටමක පවතින බැවින් දැනට බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ද නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.
















