27 April 2024
#දේශීය

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සිය ධූරයේ රාජකාරී කටයුතු අරඹයි

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කලේය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු මෙලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් විය.

සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා – “කොවිඩ් -19 වසංගත තත්ත්වයක් මේ වනවිට ලොව පුරා තිබෙනවා. අප රටෙන් ද නව පොකුරු වාර්තා වුනා. සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදා එක්ව එම තත්ත්වය පාලනය සදහා කටයුතු කරනවා. සමහර ප්‍රදේශවල නිරෝධායන ඇදිරිනීති සහ සංචරණ සීමා පනවා තිබෙනවා. ජනතාව ප්‍රධාන මාර්ග වල සංචරණය සීමා කළත් අතුරු මාර්ගවල සංචරණ සිදුවන බව වාර්තා වනවා. ජනතාව ලබාදෙන සහයෝගය මත ඉක්මණින් මෙම තත්ත්වය පාලනය කළ හැකියි. මෙම කටයුතු සදහා ජනතාවගේ සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එක්විය. මහා සංඝරත්නය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරින් රැසක් එක්ව සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *