මාලදිවයින් මුහුදු සීමාව හරහා අරාබි මුහුදේ ධීවර කටයුතු සඳහා යන සහ නැවත පැමිණෙන සියලුම බහුදින ධීවර යාත්‍රා වෙනුවෙන් නව ක්‍රියාපටිපාටියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත. නීති කඩකරන යාත්‍රාවලට මාලදිවයින් රජය මඟින් පනවන අධික දඩ මුදල්වලින් ධීවරයන් ආරක්ෂා කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
නව නීතිරීතිවලට අනුව මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වීමට අවම වශයෙන් පැය 96කට පෙර නියමිත අයදුම්පතක් පුරවා [email protected] සහ [email protected] යන විද්‍යුත් ලිපින දෙකටම යොමු කළ යුතුය. එම අයදුම්පත සමඟ යාත්‍රාවේ ලියාපදිංචි සහතිකය, පිටත්වීමේ පත්‍රිකාව, කාර්ය මණ්ඩල විස්තර, යාත්‍රාවේ ඡායාරූපයක් මෙන්ම මුහුදු සීමාවට ඇතුළු වන සහ පිටවන ස්ථාන සහිත දළ සිතියමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
මාලදිවයින් රජයේ අවසරයකින් තොරව එරට සීමාවට ඇතුළු වන යාත්‍රා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන අතර ඒවා නිදහස් කරගැනීම සඳහා යාත්‍රා හිමිකරුවන්ට දරාගත නොහැකි අධික දඩ මුදල් ගෙවීමට සිදු වේ. එවැනි අවස්ථාවලදී මැදිහත් වීමට ධීවර දෙපාර්තමේන්තුවට නීතිමය ඉඩක් නොමැති බැවින් මෙම නව ක්‍රියාපටිපාටිය අකුරටම පිළිපදින ලෙස යාත්‍රා හිමිකරුවන්ගෙන් සහ ධීවරයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.













