අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 882.5 ක පිරිවැයකින් ඉදිකරන ලද පුගොඩ නව අධිකරණ සංකීර්ණය අද (ජූලි 24) විවෘත කෙරිණි.
මහල් තුනකින් සමන්විත මෙම නව අධිකරණ සංකීර්ණය තුළ දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයක් සහ පරිවාස කාර්යාලයක් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කර ඇත. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ නඩු ගොනු කළමනාකරණය සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) ද මෙහිදී හඳුන්වා දී ඇති අතර, අසම්පූර්ණව තිබූ මෙම ව්‍යාපෘතිය වත්මන් රජය යටතේ යළි ආරම්භ කර අවසන් කර තිබේ.














