ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනි වොන්ග් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියාවේදී පැවැත්වෙන QUAD විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා පෙනි වොන්ග් මහත්මිය ඉන්දියාවට පැමිණ සිටින අතරතුර මෙම හමුව සිදුවිය.
ආරක්ෂක, වෙළෙඳ, තාක්ෂණ සහ සැපයුම් දාමයන්හි ඔරොත්තු දීමේ හැකියාව වැනි ක්ෂේත්‍ර ඔස්සේ දෙරටේ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේ නිදහස්, විවෘත, සුරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් උදෙසා ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අඛණ්ඩව එක්ව කටයුතු කරන බවයි.
QUAD සමුළුව පිළිබඳව අදහස් දක්වමින් පෙනි වොන්ග් මහත්මිය කියා සිටියේ, අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් හතරේ එකතුව මගින් නව මුලපිරීම් රැසක් ඉදිරියට ගෙන යන බවයි. විශේෂයෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික තත්ත්වයන් පිරිහෙමින් පවතින වටපිටාවක, කලාපීය රටවලට සැබෑ විකල්පයන් සපයා දීම සිය වගකීම සහ යුතුකම බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















