මීට පෙර සිටි කිසිදු ජනාධිපතිවරයෙකු නැගෙනහිර පළාතේ ජනතාවගේ ගැටලු විසඳීමට මෙවැනි උනන්දුවක් හෝ මැදිහත්වීමක් සිදු නොකළ බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන් වැඩ සිටින විහාරස්ථානයට පැමිණ පළාතේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒවා විසඳා දීමට පොරොන්දු වූ බවත් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් පවසනවා.
ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ අගය කරන බවත්, විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු ඇතුළු අනෙකුත් පොදු ගැටලු විසඳීමට ජනාධිපතිවරයාට ශක්තියක් පවතින බව උන්වහන්සේ විශ්වාසය පළ කළා. නැගෙනහිර පළාතේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා සිදු කරන මෙම මැදිහත්වීමට සිය ගෞරවය හිමි කර දෙන බවත්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් මෙම අදහස් පළ කළේ පන්සල්වල රජමහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි. තමන් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට පක්ෂපාතීව කටයුතු නොකරන බවත්, රජයක් හෝ ජනාධිපතිවරයෙකු සිදු කරන නිවැරදි සහ ජනහිතකාමී වැඩපිළිවෙළක් වෙත තම උපරිම සහයෝගය ලබා දීම ජාතික වගකීමක් ලෙස සලකන බවත් උන්වහන්සේ අවධාරණය කළා.














