නයිජර් රාජ්‍යයේ අගනුවර පිහිටි ප්‍රධාන හමුදා ගුවන් කඳවුරක් කැරැලිකාර සොල්දාදුවන් පිරිසක් විසින් අල්ලා ගැනීමෙන් පසු, හමුදාව විසින් දැඩි සටනකින් අනතුරුව ඉරිදා දිනයේදී එහි පාලනය යළි අත්පත් කරගෙන තිබේ.
අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය (IS) සංවිධානවලට එරෙහි සටන්වලදී හමුදාව ලබන පරාජයන් හේතුවෙන් ජනාධිපති අබ්දුරහමනේ ටියානිගේ (Abdourahamane Tiani) රජය සහ සන්නද්ධ හමුදා අතර මතුවී ඇති නොසන්සුන්තාව මෙම ප්‍රහාරයෙන් මනාව පැහැදිලි වේ. නියාමේ (Niamey) අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංකීර්ණය තුළ පිහිටා ඇති මෙම ගුවන් කඳවුර රුසියානු සහ ඉතාලි හමුදා රඳවා ඇති මධ්‍යස්ථානයක් ද වන අතර, කැරැලිකාර සොල්දාදුවන් පාලනය කිරීම සඳහා රුසියාවේ ‘අප්‍රිකානු බළකාය’ (Africa Corps) සහ ඇල්ජීරියාවේ සහය ලබා ගැනීමටද රජය පියවර ගෙන ඇත.
















